Friday, May 7, 2010

නැත ලොවේ අන් රසඳුනා (1 කොටස)

නිහඬව තිබුන මේ ගම බලවිනි පියස
හදිසියෙ කැළඹුනා පුවතක් මත නිරස
කවියක් ලියන්නට හිටි කව කවා කැස
මා හට ලද නිමිත්තකි මෙය රසම රස

මාරුව ලැබුණ හින්දා මේ පාසලට
පොඩ්ඩක් වැඩියි බිම පර්චස් විස්සකට
හදිසියෙ හදා ගත් සුන්දර ගෙපැලකට
ආවා කුඩා පවුලක් පැල පදියමට

බාධක ගැටලු එපමණ නැත දිවි කතරේ
පුතු උගෙනියි හොඳින් හිඳ එකොලහ වසරේ
උසස් පෙල කලා විෂයන් තුන අතරේ
දියණිය ගැටෙයි පැන ගන්නට ඉම සතරේ

ගුරුවරයෙකි පියා ඇස් පාදන රටට
අම්මා හිටිය දරුවන් හා වෙලා ගෙට
සිදුවන්නට යන විපත් කරදර නොදැන හෙට
මේ අය සැමට පෙන්වූවා හිනා කට

දියණිය එනිවසේ ඇදගත් සැමගෙ නෙත
නොමනා කට කතා කිසි දින අසා නැත
වරදේ දෑස නොම හරවනු මැන මවෙත
නොකියා ‍කෙලෙස හිඳිමිද ඇගෙ රුසිරු වත

හදිසියේ පිපී ගම් පියසම එකළු කළ
සැම නෙත් උදුර ගත්තා මේ නවමු මල
තැන තැන වැල කකා හිටි ගම කපුටු රැල
හැලුවා අලුත් වරකා ගෙඩියටත් ‍කෙල

ඇගෙ රූසිරි විඳින්නට හිරු සඳු අහස
උන මුත් නොහැකි විය අපමණ වත් වෙහෙස
දිය දෝවන බැවින් උදයේ හා සවස
දොඹකොල ඇල්ල පමණකි ලැබුවේ පහස

සැමදා හවස දොඹකොල ඇල්ලෙන් නෑවා
නෑමට එන සැමට ඈ මදහස පෑවා
මනහර දිය කඳක රූසිරි ගෙන ආවා
වරලස දනිස් අල්ලන්නට පොර කෑවා

ලප නොමවන් සඳට දෙඅදර සමව නැත
මුහුණේ එක් පසක ඉන්නකු ගැවසි ඇත
ගෙනෙනට තැතනු මුත් ඇගෙ උවනතට කැත
ඵල දරා නොමැත ඉන්නා දරපු තැත

මග තොට තොටුපලේ හමු වූ විට දෙනෙත
පෙන්වා සිටිය මුත් ඈවෙත මිතුරු වත
ඒ ගම් පියස ළඳුනගෙ ඉරිසියා සිත
ඇත්තම කිවුවොතින් ඇති නොවුනේම නැත

(මතු සම්බන්ධයි..............)