Pages

Sunday, May 30, 2010

නැත ලොවේ අන් රසඳුනා ... 2 කොටස

කීකරු දුවකි ඈ කෙලියේ පටන් වැලී
පාසල තුලදි විය හැම දෙන ගේ යෙහෙලී
ලස්සන බල බලා මුතුවන් දත් පේලී
දෙගුරුන් තැබු නමයි ඈ හට මධු මාලී

සැමදා උදේ පාසල වෙත පිය මැනුනා
පිය මැන යද්දි දෙපයේ තණ මල් හැපුණා
දෙපයේ හැපෙන මල් විලියෙන් කිති කැවුනා
මල් මුදු දෙපා සිඹිනට පින්කර තිබුණා

ඇගෙ ආදරය අර ගන්නට දරා වෙර
බැරි වුණ සමහරුන් හිටියා වෙලා කොර
ගැවසෙමින් අවට ගල් අහුලමින් හොර
හිටියා එකෙක් නිතරම වලියටම බර

එව්වත් මිටි පිටින් ඈ වෙත සෙනෙහෙ කොල
ඈ සැලකුවා ලෙස අලුයම පිඩක් කෙල
හොඳ හිත ඇතිව ඈ දිනනට බැරිවු කල
නරකින් දිනන්නට හැදුවා පිඹුරු කොල

දෙවටක් අසල එදැරිවි නිතරම යනෙන
ගංජා මතින් විකලවු සිහියද රැගෙන
හිටියා අරූ ඈ එන තෙක් සැඟවි ගෙන
ඇයි නොවදින්නෙ මෙවුනට වැහි නොමැති හෙණ

අඟහරුවාදා හවස බස් එක පමා වුණ
හින්දා තනිව මිතුරියො ටික මග හැරුණ
ඉදිරියෙ ඇති විපත සිතකට නොම දැනුන
පියමැන ආව පටුමග ගෙදරට වැටුන

ඉඳලා හිටල දැකලා තියෙනව මූණ
පෙර කළ මහ සෝනා යලි සිහියට ගේන
කවුදෑ මේ යකා ඇයි මග අවුරාන
හොඳ පාටක් නොමැත එන පොට නම් පේන

එනකල් බල බලා හි‍ටියේ සුදු නංගී
කියනට ආදරේ හදවත තුල සැංගී
හැදුවත් හමු වෙන්න තුන හතරක් වංගී
ලැජ්ජා නිසයි හිටියේ අද මෙහි හැංගී

දැකලා නෑනෙ මේ වැනි කෝළමක් වෙන
මං තව පොඩි එකෙක් කිරි බෝතලෙන් බොන
අම්මා ඇති ගෙදර එන මග බලා ගෙන
කෝ! ඉඩ දෙන්න පාරක් මට නෑනෙ වෙන

සෙමින් කියා බැරිවු තැන ගන්න හිත
සැරෙන් රවා බැලුවා දෙස ඇයගෙ වත
වරෙන් මා දනිමි ගන්නට උඹගෙ හිත
වැරෙන් අල්ල ගත්තා ඇගෙ සුමුදු අත

මුදවා ගන්න දැඟලූ මුත් අත විරියෙන්
බැරි වුණි දඬු අඬුවකට සිරවුන සැටියෙන්
කවුරුත් අසල නැත අනෙ සිහි වුනි දෙවියන්
මර බිය ඇතිව කෑ ගැසුවා යටි ගිරියෙන්

අබරං ආතා ගමනේ කඩ පිලට යන
ඇසුණා විලාපය ඒ අවටින් නැගෙන
නෑ සෙන නමුත් හරියට මේ නාකි කණ
ආවා ඒ දෙසට හැරමිටියද රැගෙන

සිදුවන්නට යන විපත දුටු අබරං ආතා
අමතක වී තමන් බව වයසක ආතා
වනලා හැරමිටිය බදලා තම දෑතා
දුන්නා පොලු පාර සිහි එන්නට මෑතා

පාරේ සැර නිසා කං ගැටයට වැදුන
කැරකී විසි වුණා ඇගෙ අත අතහැරුන
පණ ගැහි ගැහී සිටියවු මේ කුරුලු දෙන
ලද අවසරෙන් දිවුවා පණ කඩා ගෙන

පසු නොබලාම දිව යද්දී හුස්ම නොදී
ඈ විසි වුණා පා යුග කලු ගලක වැදී
එනමුත් සිහි සුන්ව බිම වැටෙනට නොමදී
ඈ නැවතත් වුණා තව දෑ තකට මැදී

(මතු සම්බන්ධයි..........................)


7 comments:

  1. පෙර පිං කරපු මදුමාලිගෙ විලාපය අසා
    අබරන් ආතා දෙවියකු සේ වැඩිය නිසා
    වෙන්නට ගිය හදියෙන් ඇය බේරුණිය කියා
    ගන්නට පුළුවනිදෝ සැනසුම් සුසුමක් අපට මෙදා

    ReplyDelete
  2. අම්මෝ අයිය .. දැන් තමයි හුස්ම ටිකක් වැටුනෙ.......

    මැදි වූ දෑත ඈය යහතින් තියන්නයි
    මල්වල මෙලෙක හැම සිතකට දැනෙන්නයි
    මවත් අක්ක නංගිත් සිහි කෙරෙන්නයි
    වැහි නැති හෙනත් කොයිබින් හෝ වඳින්නයි

    ReplyDelete
  3. දුක්බර කතාවක් ලස්සණට අමුණලා තියනවා...
    ඉතුරු ටික...?

    ReplyDelete
  4. @isimbuwa @wath @චමිදේවා
    ගැලවී ගියත් ඒ අසරණ කෙල්ල එදා
    සුසුමක් හෙලා හිටියෑකිද ? අපට නිදා
    ඉන්නා හා පැටවු නිසි රැකවරණ නොදා
    කෙතරම් බිලි වේද ? නරියන් අතට මෙදා????

    (ඔබ සැමගේ අදහස් වලින් මා දිරිමත් කළාට ස්තුතියි.)

    ReplyDelete
  5. කවිරස සොයා ගෙන මෙහි ආවෙමි දුවලා
    එනවිට අනේ දින තුන හතරක් ගෙවිලා
    මොකදැයි සොයමි මට සිදුවූ මේ අවුලා
    කොහොමින් නමුත් මේ කවිටික මග ඇරිලා

    පසුවූ නිසා අසනීපෙන් ගිය සතිය
    ඔළුවේ නිදහසින් ගතවූයේ නැතිය
    තවමත් නැතත් හරිහැටි සුවවූ ගතිය
    කියවමි ඉතින් ලියපං ඊලඟ හරිය

    ReplyDelete
  6. @උන්නැහේ (පිලේ පැදුර)
    ඊයේ දවාලෙත් මට සිහි වුනා ඔයා
    මොකදෑ මේ පැත්තෙ ආවේ නැත්තෙ කියා
    මමත් දින තුනක් අසනීපෙන් හිටියා
    හෙටවත් තියන්නම් කවි පංතියක් ලියා
    (ස්තුතියි)

    ReplyDelete
  7. මටනම් දින නොවේ සති ගනනකින් මෙහා
    ඇවිදින් යන්න බැරිවිය වැඩ ගොඩකි මහා
    පසුවී වුවත් කියවන්නෙමි, විඳිමි රහා
    ලියුවොත් හොදයි ඉතිරිය කිවහැකිය වහා

    ReplyDelete