Tuesday, May 11, 2010

වැස්සට පසු අහස...........

නින්දට පෙරදි රෑ සුව අසුනකට වෙලා
කවි පද දෙක තුනක් රහසින් අකුරු කළා
මා අග මෙහෙසි මං ගලපන අකුරු බලා
කවදාවත් නැතිව ඇයි මේ පරල වෙලා

මුල් තැන දිය යුත්තෙ තම බිරිඳට නොවෙද
කොහෙවත් ඉන්න අය ගැන මොන කවි පදද
මා ගැන කවි ලියන්නේ නැත්තේ මොකද??
ඉස්සර වගෙ නැද්ද ,ඇයි මං දැං කැතද??

ඉස්සර ඔබට කවි ලිවුවා තමයි සුදූ
මෙච්චර කාලයක් සෙනෙහස මවෙත පිදූ
කොච්චර ඇතත් කවි කොල වල ලියපු කඳූ
කප්පරකට වැඩියි සෙනෙහස ඔබට පිදූ

ලිවුවට පෙරදි කවි මා ගැන ඇති වෙන්න
හේතුව මොකද ?? මේ හැටි වෙනසක් වෙන්න
මං ගැන ලියපු කවි සේරම ඇති අන්න
දෙන්නද ??? ,කියවන්න යලි මතකෙට ගන්න

දරුවන් දෙදෙන සමගින් මම විඳල වදේ
ඉන්නේ බල බලා මයි මග ඉඳල උදේ
ආපසු ඔයත් දාගෙන කවියකට කදේ
ඔලුවට ගහල වාගෙයි දැන් තරුණ මදේ

වෙන්නේ නොමැත කිසි දිනයක පරක්කූ
බොන්නේ නොමැත සිහිනෙන් වත් අරක්කූ
ගන්නේ නොමැතිමා දෙකොනින් විලක්කූ
එන්නේ මොකද? මා වෙත මේ උලුක්කූ

වෙනදේ බලා හිටියත් දෙන දෙයක් කකා
ඕවට මටත් නගිනව නහුතයට යකා
වෙහෙසෙමි උදය සිට රෑ තෙක් බඩට නොකා
ඇයි මේ ලෙසට පෙන්නන්නේ මටත් කොකා??

වයලීනය රැගෙන තිබුනවු පසෙක ඔතා
මිදුලට ගියෙමි සැමගෙන් තනි කමක් පතා
රෑ ගී වැයුම නරකලු!!!!!, මොන පරණ කතා
තනු වෙහෙසුවා මෝහිණි ගැන වත් නොහිතා

අඩි හඬ ඇසුන වන්නට මා පිටුපසට
ගෙන දුන්නේ බියකි මාගේ හදවතට
රෑ දේවිය සුවඳ සමගින් සීතලට
මුදු දෙතොලක පහස දැනුනා නළලතට

දුක් ගී වයා ඇයි හදවත රිදවන්නේ
ඔය හිත රිදෙන වග මම කොහොමද දන්නේ
කවි පද ලියූවට මම නෑ රොස් වෙන්නේ
මේ උණු කෝපි!!, ඇල් වෙන්නට පෙර බොන්නේ

අමනාපයෙන් හද පුරවා තිබුණ රොස
වියැකී ගියා දුටු විට ඇගෙ කඳුලු ඇස
මහ වැස්සක ට පසු දිදුලන නිල් අහස
මා අභියස මැවුනි වෙනදා පුරුදු ලෙස