Pages

Tuesday, April 6, 2010

සොයා දෙන්න

දහසක් දෙනා හමු වූ වත් නොවේ සකී
බාලේ පටන් යහමග දියුණුව සැලකී
දුක සැප දෙකේ බිතු සිතුවම් සේ නොමැකී
මිතුරෙකු සිටීමත් පෙර කළ පින් කමකී

දහසක් දෙනාගේ නැණ නෙත් එළිය කොට
නොකළත් මෙහෙවරේ අඩුවක් සමාජෙට
සෙව්වත් නන් දෙසින් සමකුල විවාහෙට
තාමත් නෑ නෙ කෙල්ලෙක් මගෙ යාළුවට

මිතුරනි වෙසෙන මේ සයිබර් අවකාසේ
නොවුනත් පෙනුම හැඩ රුව ගිනි කිකිළිය සේ
මිතුරා සමග ජීවත් වන්නට පණ සේ
අඟනක් සොයා දුන්නොත් නිවනින් සැනසේ

මිතුරට මගේ අගනා පෙනුමකින් හෙබී
ඉතුරුව කරන්නේ නම් නැත නොකා නොබී
 සේවය පිණිස තම ජීවය පසෙක තැබී
හිටියා ලඳක‍් පෙරදී හදවතට එබී

ගැටුනා එකට දෙන්නගෙ ඇස් දෙකේ බබා
සැලුනා දෙහද වැටුනා ඇස් හතර ප්‍රභා
දැනුනා අපට පෙන්නූ මුත් සැමට බබා
ගැලුවා මාස හතරක් ගඟ නැතිව හබා

මොන කරුමයක් දෝ මන්දා පල දුන්නේ
දැන ගත් පසුව ගෙදරින් මෙය විමසන්නේ
බැඳගත් බෙරේ ගහමුයි ඔහු පවසන්නේ
එනමුත් ඇගෙ පියා හරහට මයි උන්නේ

ඒකිට බැරිලු අප්පගෙ හිත රිදවන්න
මේකට බැරිලු මගුලක් නොමැතිව යන්න
කෝකට වත්ම බෑ හිත් දෙක ගලපන්න
ප්‍රේමෙට සමු දුන්න ! මට ‍ඇ‍ඬෙනව මෙන්න

සේරම කතා දැන් ඉතිහාසයට ගියා
MSC එකට ඔහු පිට රටට ගියා
ආපසු ඇවිත් BLOG එක නව රසක තියා
අප හැමටම බලන්නට ලියනවා එයා

රසවත් ගඟක් වැනි BLOG එක කියවන්න
ඔහු ගේ හදේ පිවිතුරු බව දැන ගන්න
එක හැලියක් උයා ගෙන දවසක කන්න
පින් සිද්ධවෙයි කෙල්ලෙක් හොයලා දෙන්න

Monday, April 5, 2010

අසල් වැසි‍යෝ

ඉරිදා නිසා උන්නේ නින්දකට වැද
ඇසුනා අවට අලුතින් හැදු රබන් පද
විමසා බැලිමි නොතකා හිස වැටෙන පොද
දුටුදේ නිසා හිත රඟ දුනි විරිදු පද

දොරකඩ ගෙදර ඉන්නා සමරෙ‍ගෙ නෝනා
හිස් බඩ ඇවිත් ඉදලක් ගෙන වනමින්නා
සංස්කෘත සමග සිංහල අනමින්නා
අමරෙ‍ගෙනෝනාට දෙහි කපමින් උන්නා

අමරෙගෙ නෝන නෑ කට වහගෙන හිටියේ
ඇගෙ ගම් පළාතලු මාතර ඉඳිකැටියේ
බැඳලා හිටපු බල්ලා ගෙන කිටි කිටියේ
වඩිග පටුන නැටුමට සැරසෙන සැටියේ

අපටත් නොහැක නෑසුන විලසට ඉන්න
යුද්ධය නොම හැඩයි නැවතීමක් ගන්න
බැරි තැන තවත් සිංහල ඉවසා ගන්න
නෝනව යැවුව විස්තර විමසා එන්න

හේතුව විමසුවෙමි හිස්බඩ කෙල ගන්න
දෙකොනින් හිනා යන කරුණකි දැන ගන්න
නෝනා අපේ ඒ මැද්දට නොම එන්න
සිදු වෙයි එකෙකු හට යටිපස් ගමු යන්න

අමරෙගෙ ගෙදර අති කරනා පොඩි කිටියා
අල්ලපු ගෙට පැනල විලසින් හොර කොටියා
නෝනග සැප ඇ‍‍ඳේ නිදියාගෙන හිටියා
අඬ දබරෙට එකම හේතුව මෙය සැටියා

පැන්නේ පූසා හින්දා නැවතුනි ඔහොම
අප්පේ අදයි දැක්කේ ගෑනුන් මෙහෙම
උන්දෑ අපේ කිවු‍වා ගෙට ආ වහම
පැන්නේ මහත්තය නම් හෙම වෙයි කොහොම????
(නම් ගම් මනඃකල්පිතයි)

Sunday, April 4, 2010

මොනවට අනගි ලිපි ලියමින් විටින් විට
මා වට සලන සොහොයුරු කැළ දකින විට
කීවට නිකන් පොඩි තරහක් පැමිණි විට
මේ රට ගිහින් නැත තවමත් බල්ලාට

කියවන විටදි සයිබරයේ රැඳි කුරුටූ
සතුටක් දැනේ හදවත් ගැන නැති අරටූ
හැම එක් වෙලා වවමින් යහ සිත් කොරටූ
හැකි ශක්තියෙන් කරලමු යහපත පෙරටූ


Saturday, April 3, 2010

වෙනස!

ඉස්සර කා‍ලෙ ට්‍රයි කළ කෙල්ලව දැක්කා
යනවා පාරෙ තම දරු දෙන්නත් එක්කා
පෙර දී ඈව සුර අඟනක් ලෙස දැක්කා
අප්පේ හැටි!!!!! තිබූ රූපෙට වුණි මක්කා???

Friday, April 2, 2010

වැස්ස

ඊයේ හවස හෙණ ගහ ගහ මහ වැස්ස
හැදුවා තෙමෙන හින්දා ගෙයි පිටිපස්ස
වැස්සේ වැඩ නිසා මා තෙමෙමින් කෙස්ස
ඉවසා ගන්න බෑ අද හොඳටම කැස්ස

My N E S T

අට වසරකට පෙර ආදර ගඟ පීනා
කැන්දාගෙන ආපු මගෙ පෙම්බර නෝනා
මගෙ මුලු දිවිය වෙත සෙනෙහේ වැසි ගේනා
බැලු බැලු අතේ නුඹ සිනහා වත පේනා


සුරතල් සිනා හඬ ගෙයි හැම තැනම නැගේ
විටකදි වදයක්ය නිතරම කරන ද‍ඟේ
යන්නේ කන්නෙ බොන්නේ පුතු මමම වගේ
අත පය පොඩි වුවත් සවියකි සිතට මගේ

පොඩි දුව තමයි අප පවුලේ පහන් සිල
තවමත් වදන් නොනැගෙයි මොලකැටි දෙතොල
එනමුත් මතු දිනේ පිපෙනා කැකුළු මල
වදයක් වෙයිද මන්දා කම්මුලේ වල

දැන් නම් සිරි යහන උදයක විලක් වගේ
මල් දෙකකින්ම සුවඳක් අප දෙපස නැගේ
තලෙලුයි පුතා දුව නම් කිරි ගරුඬ වගේ
මානෙල් මල ලඟම නෙලුමක් පිපුන ර‍‍‍‍‍ඟේ

Thursday, April 1, 2010

සඳැසද නිසඳැසද ???

සමහරු ලිපි එවයි නිසඳැස් කවි ඉල්ලා
සඳැසේ රසය නිසඳැස තුල නැත ගල්ලා
හදවත් වලට සඳැසින් නොම වන මෙල්ලා
නිසඳැසුත් ලියමි මගෙ අම්මා පල්ලා!!


වැඩ! වැඩ! දවස නොදැනිම ගත වී යන්නේ
කවියක් ලියන්නට ව්ත් මොහොතක් නෑ නේ
කවි සිතිවිලි පිණිස නිදහස් සිත ඕනේ‍
නිදහස් සිත නැතිව කවි එන්නේ නෑනේ!