Pages

Thursday, February 15, 2018

සිතක අමුත්ත















පිණි මත උදය තණ පලසක ඇති ගෑවී
කොපුලත සුමුදු කඳුලක පහසින් පේවී
මදහස නොමැති වුවනක සුසුමක් පාවී
හදවත සියුම් රිදුමක් සුවයක් වේවී

Friday, February 24, 2012

අච්චුව......

පෙර වුන දෙයකි මෙය විසිහත් වසරකට
ගුරු මහතෙක් සිටිය නොපැසුන ඉස නිකට
හර බර ලෙසට ගැවසුන පාසල අවට
කර තම රාජකාරිය අකුරට ජයට

උදයේ හවස මාපිය ගුරුනට වැඳලා
විලි බිය ඇතිව හැදුනේ පොඩි දා ඉඳලා
කිති කැවි නැතිලු හද මල් හීසර වැදිලා
මේ ගුරු තරුව මේ වන තෙක් නෑ බැඳලා

උස මිටි කෙට්ටු කලු සුදු හා ටිකක් තර
ගොයිගම කරා බඩහැල සහ වහුම්පුර
එක එක ලඳුන් ගෙන් පැමිණුන කේන්දර
පිරිලා තිබිනි ලොකු පන් මලු දෙකක බර

පරිචාරිකාවක් ගෙන එන්නට පාද
මතු විය විටින් විට කුළ මල ගැන බේද
පැටලුනි පසු කලක මේ හබයට මාද
එබැවින් දනිමි විස්තර ගැන වුන සාද

අවසානයෙදි අඟනක් තෝරා ගත්තේ
දෑවැදි හොඳයි කුළ මල ඇත සම තත්තේ
සුරතල් පෙනුම එතුමගෙ හිත අර ගත්තේ
ඉරිදා ‍උදේ ගමනට දින දා ගත්තේ

(මතු සම්බන්ධයි...........................)

Saturday, August 27, 2011

Happy Birth Day....

අටවෙනි මාසෙ විසිහත් වෙනිදට යෙදුන
මේ ලොව එළිය මුල් වර ඔබ නෙත ගැටුන
දිනයයි අපේ නැන්දම්මා හිනා ‍උන
මා වෙනුවෙන්ම ඔබ මෙලොවට තිළිණ වුන

කියුටෙක්ස් ඇඳුම් සැන් පවුඩර් වලට වඩා
මගෙ කවි ඔබට රසවත් බව නිතර දොඩා
තිබෙනා නිසා ඔබ ගැන කවි කැකුළු කඩා
අමුණමි මදක් අමතක කොට සියළු විඩා

සුව විඳ පුංචි මාලිගයේ අපට සැදූ
දරු දෙදෙනෙකුගෙ සුරතල් මා වෙතට පිදූ
අප හැම දෙනට පෙම්වත් බව නිතර බෙදූ
වේවා සුභ උපන්දිනයක් ඔබට සුදූ.......

Sunday, August 7, 2011

ඒක් පූල් දෝ මලික්.......

යන්තම් තුරුණු විය දකිනා ඒ කාලේ
දැහැමෙන් සෙමෙන් මම හිටියා ඉස්කෝලේ
හදිසියෙ මතක සිතිවිලි නැග ආ වේලේ
ලියනෙමි යළිත් සිහිවෙන්නට මා බාලේ

විදු පියසට පැමිණි ගන්නට සකල කලා
කවුරුත් හැඳින් වුවෙ ඈ ලෙස නෙරංජලා
බැලු විට කෙනෙක් දෙස යන්තම් හිනා වෙලා
යන බව නිසැකමයි හදවත් සලිත වෙලා

හැටියට මතක හිටියේ නව වැනි වසරේ
රුව ගුණ වරුණ ගැන පාසැල තුළ පැතිරේ
ඇය ගැන සිතුම් සැම හදවත් වල ඉතිරේ
කොල්ලන් සිහිනෙනුත් පැතුවා ඇගෙ කතිරේ

ගෙනැවිත් ඇයට ටොපි චොකලට් අඹ රඹුටන්
නාරං හිඹුටු දං හා ලැබුණොත් සිදරං
නිතරම දුන්න හින්දා සෙනෙහස සමගින්
ඇගෙ සිත සැනසුවා විටකදි තරිඳු ලඟින්

දින සති මාස මේ විලසට ගත වෙද්දී
මේ පෙම් පැළය හෙමි හෙමිහිට දළු ලද්දී
නිතරම අහන්නට වෙයි මේ වැනි සිද්දී
ඇගෙ සිත තවත් අතකට යනවා පැද්දී

සිත අග පිපුණ මල නෙලනට සැමට හොරා
බොහො දෙන දත කෑව දින සති මාසපුරා
එනමුදු එසිත ගෙනයන්නට මලිඳු කරා
ඉසුරුට හැකි වුණා පෙම් නිම් වළලු ඉරා

විටකදි ඈ මටත් සිනහාවක් පෑවා
හදවත කොණක යන්තම් කිතියක් ආවා
අද මෙන් එදත් මට බැරි හින්දා ඕවා
මට නම් එපා අපි ඕවට නෑ කීවා

එක හට්ටියක් හැඳි දෙකකින් කන බවට
සාධක සමග තොරතුරු ලැබුණත් එමට
ඒ බව නො‍තේරුණෙ පූරුවෙ කළ පවට
මෙය උපහැරණයකි ආලය අඳ බවට

මේ ලෙස මාස තුන හතරක් ගෙවිල ගියා
පෙම් කවි සඳැස් ලිපි එතෙරින් මෙතෙර ගියා
හදිසියෙ රංඩුවක දසුනක් නෙතෙහි තියා
දිවුවා එදෙස වනපොත් හැම පසෙක තියා

තුන්වන ලෝක යුද්ධය ඇරඹුන විලසේ
කොල්ලන් දෙදෙන ගුටි ඇණ ගන්නට සැරසේ
දෙන්නට ලැබුන ලියුමක් අත්වල දිලිසේ
හේතුව විමසමින මම එතනට පිවිසේ

ඒ මල මගෙයි !!!! පවසන විට ඉසුරු තුටින්
හිමිකරු මමයි පිටවුනි අනෙකාගෙ කටින්
වලියට පෝර එයි ටික ටික වටින් පිටින්
නවතා ගන්න පිහිටක් නම් නැත අවටින්

ලියුමේ යටිපැත්තෙ ඇඳ ඇති පුංචි මලේ
තිබුණේ අඩකි , ඉතිරිය ඇත අනිත් කොලේ
මගෙ දෑසටම මේ සිද්ධිය දැකපු වෙලේ
පැන්නා මැදට ඉවසාගෙන අසන් මලේ

ගුටි ඇණගන්න පෙර පොඩ්ඩක් බලල හිටින්
සිද්ධිය පෙනේ ඔය ලියුමේ අකුරු යටින්
එකවර ලියුම් දෙක ලියලා හිතේ තුටින්
උඹලට කවා ඇත තණකොල ගෝනි පිටින්

එකම කොලය අරගෙන ඉරලා දෙකට
ආදර හසුන ලියලා දෙන්නට එකට
සැන් පොඩ්ඩකුත් ඉහලා සුවඳට යසට
ගැස්සුනි වැඩේ !!! දෙන්නට බැරි වුණි තිතට

ලිපි දෙක මාරු වී ඇත දෙන්නට දුන්න
හේතුව මෙයයි දෙන්නා ගුටි ඇණ ගන්න
මල්ලිට , ලියුම් ගෙනියපු නොම වරදින්න
සිද්ධිය තවත් තිබුණා බොහො දුර යන්න

බොහො දෙන තීව මුත් මේ ගැන මගේ කණේ
මගෙ කරුමයට පිළිගන්නට නොහැකි වුණේ
ඇත්තට දැනුයි මගෙ ඇස්දෙක විවර වුණේ
තරහා නොවෙන් මගෙ මිතුරේ මගේ පණේ

දැන් නම් මචං දෙන්නම එක බෝට්ටුවේ
හොර පෙම් පුවත් කවදා හෝ මාට්ටුවේ
පාසැල් පෙම නිමා විය තුන් කාට්ටුවේ
දුර දිග ගියා නම් දත කට පූට්ටුවේ

මෝරපු නමුත් ලඳ බොලඳයි කොයි වේලෙත්
කෙල්ලන් අද මෙන්ම චපලයි ඒ කාලෙත්
අත් විඳ තිබේ මේ වැනි දේ මා බාලෙත්
පාරෙදි මගදි පමණකි නොව ඉස්කෝලෙත්




Monday, May 16, 2011

වෙස‍ඟේ ඔකඳ වෙමු!!!!

අජපල් නුග මුලදි කාමුක ඇස         මානා
ලෝනා වෙත පැමිණ, රැව් නගමින්  වීණා
රඟදුන් මර දූන් පැරදුව හැටී            පානා
වෙස‍ඟේ ඔකඳ වෙමු සදහම් ගඟ     පීනා......

Saturday, April 23, 2011

ආයුබෝවන් දයාබර රැකියා ස්ථානය!!!!

තුන් වසරක්ම වැඩ කළ වෙහෙසී ජයට
මේ තැන තව මිණකි!!!! දිදුලන මිණි පුරට
යම් යම් කරුණු හින්දා පැමිණුන පෙරට
සමු ගන්නා දිනය යෙදිලා ඇත හෙටට

අයි ටී මැනේජර් පදවිය හොබවන්න
තුන් වසරකට පෙර මම ආවා ඔන්න
ඒ කාලය තුලදි වෙහෙසී උර දුන්න
මට නම් පෙනේ පඩි ටික ඉහලට පැන්න

මොනවා කළත් කවුරුන් මොනවා කීවත්
බෙර වල පලු නොමැති යයි මැසිවිලි පෑවත්
ඇස් පිට පෙනෙද්දී කළ වැඩ වල මාවත්
නොකියා නොහැක මේ දැක මගෙ කට කෑවත්

එක බත් පතේ කා එක පැදුරේ වෙසෙමින්
දුක සැප වෙහෙස එක ලෙස ඉවසා දරමින්
සොහොයුරු කැළ හිටපු මා අසලම සරමින්
සිහිවී නෙතට කඳුලක් එනු දැනුනි සෙමින්!!!

Wednesday, February 9, 2011

ඇයි මේ?????

කාලය මදි වුනා හින්දා වැඩ අදික
කවි ලියමන ගියා පසුවට එකින් එක
වෙන මොකවත් නෙවේ මට නම් හිතට දුක
උන්නද මළා දැයි කවුරුත් නොබැලු එක

Sunday, September 26, 2010

මතකය!!!!!

කාලය ගෙවුන පෙරදා පෙම් සිතක බැඳී
ආලය පෑම කාලය වෙනුවෙන් පැරදී
ආලය පාන රැස්වී පෙම් කුරුළු පොදී
දුටු සඳ සෙනේ සිතුවිලි යලි වේ අවදී

Saturday, August 21, 2010

Wednesday, July 28, 2010

නැත ලොවේ අන් රසඳුනා ...(අවසන් කොටස)


දොඹ කොල ඇල්ල ලඟ රැඳි ආදර රැල්ල
වියැකී යන මොහොත එයි අල්ලෙන් අල්ල
දිවි නහගනු බලා කොලු සමගින් කෙල්ල
දුක්බර හඬක් නැගුවා දොඹකොල ඇල්ල

අවසන් තත්පරය දිවිමග පැමිණ තිබේ
යලි මා නොදක්නෙමි ඔය සුදු මුහුණ ඔබේ
මා මිය ගියත් සිත ඔබ ලඟ නිතර තිබේ
අප පෙම් වදන් මේ අවටම රැඳී තිබේ

වස බෝතලය ජනකගෙ මුව ලඟට ගියා
‍බෝතල් බාගයක් මොහොතින් බඩට ගියා
ඉතිරිය රැගෙන මධුමාලිගෙ අතේ තියා
මරණය එන තුරා සිටියා දෑස පියා

බොන්නට හැදුව මුත් වස මේ රුවැති ලඳ
දැනුනා සැරට ඒ වස වල තිබෙන ගඳ
සිහිවුනි නැවත මව දුන් කිරි වල සුවඳ
වෙන්නට ගියෙ එකකි වුණෙ අනිකකි සබඳ

අපගේ පොඩි දුකෙත් හඬනා මුලු රෑක
හඬවා නෑ දුකක් දී මට කිසි දාක
මවු සෙනෙහේ ගෙනත් පිරවූ මුලු ගේක
කොහොමද ඉවසන්නෙ මගෙ අම්මා මේක????

උදයේ පටන් රෑ වෙන තෙක් වෙහෙසෙන්නේ
අප දිවි මගට යහපිරි ඔවදන් දෙන්නේ
කොහොමද යලිත් දරුවන් අතරට යන්නේ
පිතු සෙනෙහසට මෙහෙමද ??? මම සලකන්නේ

වසබී මියැදුනොත් අද මා මේ ලෙසට
මල්ලිගෙ ජීවිතේ යනවා අගාධෙට
අක්කා කෙනෙකු වෙත දුන් සොහොයුරු පෙමට
කොහොමද ??? මුහුණ දෙන්නේ මල්ලී ගමට

ප්‍රාණය නිරුදුවන ජනකගෙ සිරුර බලා
මුලු ගත සලිත වුණි බිය සියොලඟම වෙලා
වස බෝතලය ඇල පල්ලට විසි කරලා
දිවුවා ගෙදර යලි පිටුපසවත් නොබලා

අසරණ හදවතක සෙලැවුම නතර විය
කෙලවර වුණා එතැනින් ජනකගෙ දිවිය
සමු දුන් සැමට නොහකිව ලද පෙම දිනිය
දින තුනකින් ලැබුනි ඒ කුණු වුන මිනිය

සෑහෙන කලක් ජනකගෙ දුක් ගී රාවේ
දොඹකොල ඇල්ලෙ සිලි හඬ සමගින් පාවේ
ජනකගෙ අවතාරෙ දුටු සමහරු කීවේ
තවමත් අසයි කිම මධුමාලිට වූවේ???

අවුරුදු තුනහමාරක් ගත වෙලා ගියේ
ජනකගෙ මතක දැන් නම් අහලකට ‍නොයේ
ඉඳලා කලක් කොල්ලගෙ හොල්මනට බයේ
කෙල්ලගෙ මගුල් පෙරහර මේ දැනුයි ගියේ

(නිමි)

Saturday, June 26, 2010

නැත ලොවේ අන් රසඳුනා 4 කොටස

තැන තැන නිතර හොයනා වෙන පල් හෑලී
මිනිහෙක් දිනක් හමුවී රතු මුදලාලී
තම පුතු පැටලි බව සමගින් මධුමාලී
තිවුවා කණේ වැඩිපුර සමගින් කෑලී

මේ කණ වැකුණ මුදලාලිට ඩෝං ගියා
එන්නෙමි උන්ට හොඳවායින් දෙකක් කියා
අරගෙන කිසිල්ලෙන් මත්තට සරම තියා
කාරය රැගෙන මධුමාලිගෙ ගෙදර ගියා

මේ ඇහුණා නේද මධුමාලිගෙ අම්මේ
දැනගත් ගමන් මයි මේ ආවේ පිම්මේ
සෑහෙන වෙහෙසිලයි කොලු ඉහලට දැම්මේ
නැති කර ගන්න යනවලු ඌ උගෙ ජම්මේ

කොල්ලව දැලේ දාගෙන විලසින් හෙරක
ඕකව මම හැදුවෙ විලසින් නිල් මැණික
නවතා නොගත්තොත් මේ හුට පට හණික
පසුවට නොම කියනු මා මිනිහෙකි නරක

දෙන්නගෙ කැමැත්තයි පිළිගනු පුලුවන්නම්
දිවුරන පිණිස යන දේවාලෙක එන්නම්
මගදී හමු වෙලා මුං නැටුවට වන්නම්
අපි නම් දීල නෑ ඕවට උල්පන්දම්

මගෙ යාලුවෙක් ඉන්ව ගම රත්නපුරේ
අහනව පුතා ගැන විස්තර සැරින් සැරේ
පවුලේ එකම දියණිය මගේ පුතුගෙ කරේ
එල්ලන දිනය ගැන ඊයෙත් කතා කරේ

ඉන් පසු යලිත් දිවුවා තම නිවස කරා
අපි හිතුවේ දමයි කියලා කොල්ල මරා
තිවුවා දෙස් දෙවොල් විලසින් යකා ගරා
කොල්ලා හිටිය සැඟවීගෙන ලෙසින් හොරා

මහලොකු අතු දුවේ, දැන් උඹ නාඬ හිටූ
අප හට නෑ නොවෙද?? ඉගිලෙන පිණිස තටූ
ගලවා දමනු දැන් හදවත ඇනුන කටූ
එනමුත් ඈ පෙරුව කඳුලුත් සමග හොටූ

දැන් කෙලවරක් නෑ ගෙදරින් එන බාදා
ලෙස්සන්නට හිතයි ඈ ගෙන ලෙස ආඳා
හැම තැන මුර දමා ඇති මුත් මග පාදා
දෙන්නා මුනගැසුන ගිය අටවක පෝදා

දෙන්නට එපා මට විරහවෙ ගිනි කන්ද
දැන් මට ඔබ නොදැක ඉන්නට පුලුවන්ද???
මගෙ මුලු හදවතම දැන් ඔබ ලඟ නේද
ඊයේ එනව කිවුවා !!! කෝ ආවාද??

නෑ සුදු මැණික මට ඇති කරදර ගොන්න
කීමට තමයි ආවේ ඔබ දැක ගන්න
ඔබ මෙන් මමත් කඳුලෙනි එය දැන ගන්න
මේකත් අරුමයකි අද ගෙදරින් පැන්න

අපෙ මවු පියන් මිල මුදලින් වෙලා මුලා
වෙන් කරනට හදයි අප පෙම් කැකුළ තලා
මගෙ පණ ගියොත් වෙන එකෙකුගෙ අඹුව වෙලා
ඉන්නේ කෙලෙස එය මගෙ නෙත් දෙකින් බලා

සෙනෙහස දිනනු බෑ එය මහ මෙරකි උස
අප වෙන් කරන්නට හැම දෙන කවයි කැස
කියලා දෙන්න මෙවුනට පාඩමක් යස
අපි දෙන්නා මැරෙමු එකවර බීල වස

අයියේ මමත් එකඟයි ඒ අදහසට
වෙන්වී ඉන්න හැකිදෝ අපි දෙන්නාට
කිසිවෙක් අමාරුවෙ මේකෙන් නොවැටෙන්ට
ලියුමක් ලියමු කවුරුත් පලි නෑ මීට

දිවි නහගන්න අන් සැම දෙය පසෙක තියා
මේ පෙම් යුවල අවසන් විසඳුමට ගියා
වස කුප්පියක් අරගෙන පපු තුරුලෙ තියා
තමනට පුරුදු හමුවන තැන වෙතට ගියා

ගමටම මහා මූසල ගතියක් ගේන
උඩුබිරුලුවේ ඇයි ඊයේ නරි රෑන
දොඹකොල ඇල්ල වෙනදා සිනහා පාන
වෙනුවට අද සෙයකි දුක් ගීයක් ගයන

(මතු සම්බන්ධයි................)

Monday, June 21, 2010

නැත ලොවේ අන් රසඳුනා 3 කොටස

කොහෙදෝ ඉඳන් දුවගෙන විත් අතට පැන
සිහිසන් නැතිව ඉන්නා නෙත් පියා ගෙන
ආවත් රට තොටේ මේ ලෙස ඇවිද ගෙන
දැක නෑ රුවැති අඟනක් මේ වගේ වෙන

මුදු ලෙස ඇයව ගත්තා උකුලට උස්සා
නළලත රැඳුන ඩා බිඳු හෙමිහිට පිස්සා
දඟ යුග පෙනෙන දනිහෙන් ඉහලට උස්සා
සෙනෙහෙන් වසා දැමුවා සලු හරි ගස්සා

නැවතත් අපෙ ආතා අර කොල්ලව එලවා
කෙල්ලට කුමක් වුණි දැයි බැල්මක් හෙලුවා
කෙල්ලව උකුල රඳවා කවුදැයි බැලුවා
මේ අර අපේ රතු මුදලාලිගෙ කොලුවා!!!

පැන්නේ සතර කඩ ඉම, හැකියාව තියේ
යන්නේ ගමෙන් පසු දහවන කැලෑසියේ
එන්නේ තෙමසකිනි, විගහට නැවත ගියේ
ඉන්නේ කොළඹ තුම් මුල්ලේ කොලීජියේ

දෑතට තුරුලු වී යස කොල්ලෙකුගෙ නැඩ
රැකවරණයක් වී වාගෙයි පෙනෙන හැඩ
නව පෙම් පුවතකට මොකටද දමල ලෙඩ
මා දැන් යමි මටත් ඇත තව ගෙදර වැඩ

සිහි කැඳවුනා මධු මාලිගෙ ටිකෙන් ටික
හෙමිහිට විවර වුනි නිල් නෙතු පියන් දෙක
එසැනින තුරුණු නෙත් පැටලුනි එකට එක
කෙල්ලගෙ හද සැලුනි හැන්ඩ්සම් මුහුණ දැක

ඇසිපිය නොම හෙලා මා දෙස නෙතු දල්ලා
කවුදැයි බලා හිඳිනා මේ යස කොල්ලා
තුරුලේ දැනෙන උණුසුම තව තව ඉල්ලා
නුපුරුදු හැඟුම් නැග එයි හදවත සොල්ලා

දෑසින් ගලන සෙනෙහස ඉවසනු බැරිය
දෑතින් මිදෙන්නට සිදුවී ඇති සැටිය
ආයෙත් යනව නම් නැති වී මගෙ සිහිය
මේ උණුහුමේ ගුලිවී ඉන්නට හැකිය

අනඟ දෙව් පැමිණ එහි කරණමක් ගසා
මේ ජෝඩුවම හදිසියෙ මුන ගැසුන නිසා
වයසත් නිවැරදියි පෙනුමත් නොමැත දොසා
හදවත් දෙකම මල් හීයෙන් කෙරුව පසා

ඒ ලෙස පටන් ගත් පෙම් උල්පත රහසේ
මහ ජල කඳක් වී ගැලුවා ගම් පියසේ
මේ වග දන්න මුත් මධු මාලිගෙ නිවසේ
ජනක ගෙ නිවස වෙත පැවතුනි රහසක් සේ

දොඹ කොල ඇල්ල ලඟ මල් වැටි ගල් පොත්තේ
මේ පෙම් යුවල නිතරම හමු වී ඇත්තේ
ඉඳ හිට හාදු පිදෙනා දෙතොලත මත්තේ
දුටු පැණි කුරුල්ලෙක් නැටුවා උඩ අත්තේ

(මතු සම්බන්ධයි.....................)

Sunday, May 30, 2010

නැත ලොවේ අන් රසඳුනා ... 2 කොටස

කීකරු දුවකි ඈ කෙලියේ පටන් වැලී
පාසල තුලදි විය හැම දෙන ගේ යෙහෙලී
ලස්සන බල බලා මුතුවන් දත් පේලී
දෙගුරුන් තැබු නමයි ඈ හට මධු මාලී

සැමදා උදේ පාසල වෙත පිය මැනුනා
පිය මැන යද්දි දෙපයේ තණ මල් හැපුණා
දෙපයේ හැපෙන මල් විලියෙන් කිති කැවුනා
මල් මුදු දෙපා සිඹිනට පින්කර තිබුණා

ඇගෙ ආදරය අර ගන්නට දරා වෙර
බැරි වුණ සමහරුන් හිටියා වෙලා කොර
ගැවසෙමින් අවට ගල් අහුලමින් හොර
හිටියා එකෙක් නිතරම වලියටම බර

එව්වත් මිටි පිටින් ඈ වෙත සෙනෙහෙ කොල
ඈ සැලකුවා ලෙස අලුයම පිඩක් කෙල
හොඳ හිත ඇතිව ඈ දිනනට බැරිවු කල
නරකින් දිනන්නට හැදුවා පිඹුරු කොල

දෙවටක් අසල එදැරිවි නිතරම යනෙන
ගංජා මතින් විකලවු සිහියද රැගෙන
හිටියා අරූ ඈ එන තෙක් සැඟවි ගෙන
ඇයි නොවදින්නෙ මෙවුනට වැහි නොමැති හෙණ

අඟහරුවාදා හවස බස් එක පමා වුණ
හින්දා තනිව මිතුරියො ටික මග හැරුණ
ඉදිරියෙ ඇති විපත සිතකට නොම දැනුන
පියමැන ආව පටුමග ගෙදරට වැටුන

ඉඳලා හිටල දැකලා තියෙනව මූණ
පෙර කළ මහ සෝනා යලි සිහියට ගේන
කවුදෑ මේ යකා ඇයි මග අවුරාන
හොඳ පාටක් නොමැත එන පොට නම් පේන

එනකල් බල බලා හි‍ටියේ සුදු නංගී
කියනට ආදරේ හදවත තුල සැංගී
හැදුවත් හමු වෙන්න තුන හතරක් වංගී
ලැජ්ජා නිසයි හිටියේ අද මෙහි හැංගී

දැකලා නෑනෙ මේ වැනි කෝළමක් වෙන
මං තව පොඩි එකෙක් කිරි බෝතලෙන් බොන
අම්මා ඇති ගෙදර එන මග බලා ගෙන
කෝ! ඉඩ දෙන්න පාරක් මට නෑනෙ වෙන

සෙමින් කියා බැරිවු තැන ගන්න හිත
සැරෙන් රවා බැලුවා දෙස ඇයගෙ වත
වරෙන් මා දනිමි ගන්නට උඹගෙ හිත
වැරෙන් අල්ල ගත්තා ඇගෙ සුමුදු අත

මුදවා ගන්න දැඟලූ මුත් අත විරියෙන්
බැරි වුණි දඬු අඬුවකට සිරවුන සැටියෙන්
කවුරුත් අසල නැත අනෙ සිහි වුනි දෙවියන්
මර බිය ඇතිව කෑ ගැසුවා යටි ගිරියෙන්

අබරං ආතා ගමනේ කඩ පිලට යන
ඇසුණා විලාපය ඒ අවටින් නැගෙන
නෑ සෙන නමුත් හරියට මේ නාකි කණ
ආවා ඒ දෙසට හැරමිටියද රැගෙන

සිදුවන්නට යන විපත දුටු අබරං ආතා
අමතක වී තමන් බව වයසක ආතා
වනලා හැරමිටිය බදලා තම දෑතා
දුන්නා පොලු පාර සිහි එන්නට මෑතා

පාරේ සැර නිසා කං ගැටයට වැදුන
කැරකී විසි වුණා ඇගෙ අත අතහැරුන
පණ ගැහි ගැහී සිටියවු මේ කුරුලු දෙන
ලද අවසරෙන් දිවුවා පණ කඩා ගෙන

පසු නොබලාම දිව යද්දී හුස්ම නොදී
ඈ විසි වුණා පා යුග කලු ගලක වැදී
එනමුත් සිහි සුන්ව බිම වැටෙනට නොමදී
ඈ නැවතත් වුණා තව දෑ තකට මැදී

(මතු සම්බන්ධයි..........................)


Tuesday, May 11, 2010

වැස්සට පසු අහස...........

නින්දට පෙරදි රෑ සුව අසුනකට වෙලා
කවි පද දෙක තුනක් රහසින් අකුරු කළා
මා අග මෙහෙසි මං ගලපන අකුරු බලා
කවදාවත් නැතිව ඇයි මේ පරල වෙලා

මුල් තැන දිය යුත්තෙ තම බිරිඳට නොවෙද
කොහෙවත් ඉන්න අය ගැන මොන කවි පදද
මා ගැන කවි ලියන්නේ නැත්තේ මොකද??
ඉස්සර වගෙ නැද්ද ,ඇයි මං දැං කැතද??

ඉස්සර ඔබට කවි ලිවුවා තමයි සුදූ
මෙච්චර කාලයක් සෙනෙහස මවෙත පිදූ
කොච්චර ඇතත් කවි කොල වල ලියපු කඳූ
කප්පරකට වැඩියි සෙනෙහස ඔබට පිදූ

ලිවුවට පෙරදි කවි මා ගැන ඇති වෙන්න
හේතුව මොකද ?? මේ හැටි වෙනසක් වෙන්න
මං ගැන ලියපු කවි සේරම ඇති අන්න
දෙන්නද ??? ,කියවන්න යලි මතකෙට ගන්න

දරුවන් දෙදෙන සමගින් මම විඳල වදේ
ඉන්නේ බල බලා මයි මග ඉඳල උදේ
ආපසු ඔයත් දාගෙන කවියකට කදේ
ඔලුවට ගහල වාගෙයි දැන් තරුණ මදේ

වෙන්නේ නොමැත කිසි දිනයක පරක්කූ
බොන්නේ නොමැත සිහිනෙන් වත් අරක්කූ
ගන්නේ නොමැතිමා දෙකොනින් විලක්කූ
එන්නේ මොකද? මා වෙත මේ උලුක්කූ

වෙනදේ බලා හිටියත් දෙන දෙයක් කකා
ඕවට මටත් නගිනව නහුතයට යකා
වෙහෙසෙමි උදය සිට රෑ තෙක් බඩට නොකා
ඇයි මේ ලෙසට පෙන්නන්නේ මටත් කොකා??

වයලීනය රැගෙන තිබුනවු පසෙක ඔතා
මිදුලට ගියෙමි සැමගෙන් තනි කමක් පතා
රෑ ගී වැයුම නරකලු!!!!!, මොන පරණ කතා
තනු වෙහෙසුවා මෝහිණි ගැන වත් නොහිතා

අඩි හඬ ඇසුන වන්නට මා පිටුපසට
ගෙන දුන්නේ බියකි මාගේ හදවතට
රෑ දේවිය සුවඳ සමගින් සීතලට
මුදු දෙතොලක පහස දැනුනා නළලතට

දුක් ගී වයා ඇයි හදවත රිදවන්නේ
ඔය හිත රිදෙන වග මම කොහොමද දන්නේ
කවි පද ලියූවට මම නෑ රොස් වෙන්නේ
මේ උණු කෝපි!!, ඇල් වෙන්නට පෙර බොන්නේ

අමනාපයෙන් හද පුරවා තිබුණ රොස
වියැකී ගියා දුටු විට ඇගෙ කඳුලු ඇස
මහ වැස්සක ට පසු දිදුලන නිල් අහස
මා අභියස මැවුනි වෙනදා පුරුදු ලෙස

Friday, May 7, 2010

නැත ලොවේ අන් රසඳුනා (1 කොටස)

නිහඬව තිබුන මේ ගම බලවිනි පියස
හදිසියෙ කැළඹුනා පුවතක් මත නිරස
කවියක් ලියන්නට හිටි කව කවා කැස
මා හට ලද නිමිත්තකි මෙය රසම රස

මාරුව ලැබුණ හින්දා මේ පාසලට
පොඩ්ඩක් වැඩියි බිම පර්චස් විස්සකට
හදිසියෙ හදා ගත් සුන්දර ගෙපැලකට
ආවා කුඩා පවුලක් පැල පදියමට

බාධක ගැටලු එපමණ නැත දිවි කතරේ
පුතු උගෙනියි හොඳින් හිඳ එකොලහ වසරේ
උසස් පෙල කලා විෂයන් තුන අතරේ
දියණිය ගැටෙයි පැන ගන්නට ඉම සතරේ

ගුරුවරයෙකි පියා ඇස් පාදන රටට
අම්මා හිටිය දරුවන් හා වෙලා ගෙට
සිදුවන්නට යන විපත් කරදර නොදැන හෙට
මේ අය සැමට පෙන්වූවා හිනා කට

දියණිය එනිවසේ ඇදගත් සැමගෙ නෙත
නොමනා කට කතා කිසි දින අසා නැත
වරදේ දෑස නොම හරවනු මැන මවෙත
නොකියා ‍කෙලෙස හිඳිමිද ඇගෙ රුසිරු වත

හදිසියේ පිපී ගම් පියසම එකළු කළ
සැම නෙත් උදුර ගත්තා මේ නවමු මල
තැන තැන වැල කකා හිටි ගම කපුටු රැල
හැලුවා අලුත් වරකා ගෙඩියටත් ‍කෙල

ඇගෙ රූසිරි විඳින්නට හිරු සඳු අහස
උන මුත් නොහැකි විය අපමණ වත් වෙහෙස
දිය දෝවන බැවින් උදයේ හා සවස
දොඹකොල ඇල්ල පමණකි ලැබුවේ පහස

සැමදා හවස දොඹකොල ඇල්ලෙන් නෑවා
නෑමට එන සැමට ඈ මදහස පෑවා
මනහර දිය කඳක රූසිරි ගෙන ආවා
වරලස දනිස් අල්ලන්නට පොර කෑවා

ලප නොමවන් සඳට දෙඅදර සමව නැත
මුහුණේ එක් පසක ඉන්නකු ගැවසි ඇත
ගෙනෙනට තැතනු මුත් ඇගෙ උවනතට කැත
ඵල දරා නොමැත ඉන්නා දරපු තැත

මග තොට තොටුපලේ හමු වූ විට දෙනෙත
පෙන්වා සිටිය මුත් ඈවෙත මිතුරු වත
ඒ ගම් පියස ළඳුනගෙ ඉරිසියා සිත
ඇත්තම කිවුවොතින් ඇති නොවුනේම නැත

(මතු සම්බන්ධයි..............)

Tuesday, April 27, 2010

විනය

බසයේ සැම දෙනගෙ පින් බර සිත පෑදූ
ඉදිරි අසුනෙ වැඩ හුන් පින්කඳ සාදූ
දැහැත් විටක් ගන්නට තම සිත සෑදූ
දැකලා රවා බැලුවා සම්මා සාදූ

ඇහැලියගොඩ ටවුම පසුවී යන කොටම
අඩ නින්දෙන්ය ඩ්‍රයිවර් හැර හැම දෙනම
පෙර පස අසුන වැඩ හිඳ හුන් එහිමි නම
ගැහුවයි කෙළ පාර වැඩි දුර නොසිතාම

ඊලඟ අසුන උන් හමුදාවේ මල්ලී
හැඳ සිටි කමිසෙ වියදම් කරලා සල්ලී
වැටිලා තිබුණි තද රතු පාටින් පුල්ලී
දැන් මොනවා කරන්නද අල්ලා ජල්ලී

සසරින් එතෙර වන්නෙකු කෙළ ගහන එක
පෙර පිනකින් ලද දෙයක් නොම වන්නට නොහැක
නොම දෙන් පුතේ යන්නට හිත වැඩි දුරක
විට කෙළ වුනත් දැන් ඕවා සාංඝික


Saturday, April 24, 2010

අවසන් කොටස

මම දැන් මුදලාලියෙකි පිළිගත් රටට
මොකටද ? නැමෙන්නේ අපි කාටත් දෙකට
කල් යල් බලා හදවා ගත් නැකතකට
දැම්මා අත්තිවාරම ලොකු ගෙදරකට

දැම්මේ අත්තිවාරම නැකතට හින්දා
හිතුවා මුදල් ගලතියි! සේ වැව බින්දා
ඔලුවක් ඇතත්මොළයක් නැති මේ පෙන්දා
ගත්තා සාක්කුව තුන් කාලට හින්දා

මේ සේරම කරල ඔහු දැරුවත් දිරිය
බුද්ධිය කිසිදු මිලකට ගන්නට බැරිය
ගෙවුවම ටික කලක් මේ ලෙස දිවි සැරිය
මැණිකෙන් ලද මුදල් සේරම ඉවර විය

හැදුවත් කරන්නට දිවි දුක් ගඟ තරණ
බැරි වුණි මොළේ නැති හින්දා වැඩ කරන
වැස්සට තෙමී අවුවට වේලී දිරන
ඉන්නේ අර ගෙදර මයි තාමත් පරණ

උදයේ වැඩ‍ට යනු දැක මම සිරි සෝම
ඇහුවා අයියෙ කොහොමද සුවදුක් වහම
අපරාදේ සල්ලි වියදම් වුණෙ එහෙම
කිවුවම සිරිසෝම තෙපලූවා මෙහෙම

අයියෝ මල්ලි ඕවා නම් මොනවාද
අපි යන කළ දි මේවා ගෙන යනවාද?
හිටපු සිරි සෝම වැනි වැනි ගම් මැද්ද
මේ ටික කාලයට කළ කෙලි ටික මදිද????

ලොකු දුවගේ පොතට හැට දාහක් දැම්මා
පොඩි දුවගේ පොතට තව ගානක් දැම්මා
දඹදිව යන්න අදහස ඇති අපි දෙන්නා
දෙවියන් බුදුන් සිහිකර දනකුත් දුන්නා

සිගරැට් එකක් බොන්නට රුපියල් විස්සක්
ගත්තා මගෙන් උදයම වී ණය තුරහක්
නැටුවොත් ඕනැවට වැඩියෙන් වෙයි පරහක්
සැමටම කියමි, නෑ නොවැ මා හා තරහක්

(නිමි)



Wednesday, April 21, 2010

3 කොටස

ඉස්සර සිරි සෝම, දැන් සිරි මුදලාලී
මිතුරන් රැසක් ඇතිවී ඇඟටම ඈලී
දැන් නිතරෝම ගම වට යන පෙලපාලී
ටික ටික වැඩියි මිනිහගෙ සෝබන කෑලී

ඉහලින් කර ගන්න දුව නාවන මගුල
ගමටම ගැහුව බෙර තම්මැට්ටම් දවුල
නටනා හැටි දැකල ගිනි ලා ගෙන රැවුල
උපහාසෙන් සිනා සුනි රක්වන් ගඟුල

පොඩොස්සියො කියන වැඩ ටික මග හරිතී
ගැටිස්සියෝ සුලු සුලු වැඩ ටික කරතී
ළමිස්සියෝ එක වැඩ දෙක තුන කරතී
බැරැස්සියෝ බර වැඩ සේරම කරතී

ගෙන් ගෙට ගිහින් හැම දෙනටම කියල මගුල්
හඬවන්නට යන්නෙ ගමටම රබන් සුරල්
කටගැස්මකට ගෙන්වන්නට කියල ඩෙවල්
ලොරි බාගයක් වැඩමෙව්වා නැටුං ඔයිල්

අහවර වී මගුල එක දිනයක් ගෙවුනී
වියදම සැරට ගිය බව මගෙ කණ වැකුණී
සැම දෙන ගෙදර ගිය පසු මගුලට පැමිණී
වැහැලා පෑව්වා සේ ගම නිහඬ වුණී

(මතු සම්බන්ධයි...........)


Tuesday, April 20, 2010

නටුවෙ කටු

ආවේ බස් රථයකිනි යන මහ නුවර බලා
කට කපලා හිටියෙ උඩරට මැණිකේලා
උනුන් දෙඩු වදන් මා සවණත වැකිලා
රෝස මල් වුවත් නටු අග කටු පිරිලා

Sunday, April 18, 2010

2 කොටස------

කාරය ගෙනාවත් ලස්සෙට කොඩි දාලා
පාරක් නොමැත කාරය ගන්නට හදලා
කාරය ගෙදර ගෙනියුම පසෙකින් තියලා
වීරිය කලා පාරක් ගන්නට කපලා

පාරක් ගැනීමත්පොඩි කෙළියක් නොවුනී
අබරං මාම ගේ ඉඩමෙන් නතර වුණී
පාරක් දෙන්න බෑ මාමා පරල වුණී
කොහෙදෝ තිබූ නඩු හබයක් පටලැවුණී

මේ කලබලය අතරෙදි තව වැඩක් වුණා
සෝමෙගේ හිසේ බර මොහොතින් දෙගුණ වුණා
මල් බර සමයකට සතුටින් දෑත් වනා
මිනිහගෙ පොඩි දෝණි ගෙයි මුල්ලකට වුණා

මේ ඇහුණාද බැලුවා මම නැකැත් කල්
නාවන්නට කෙල්ල වතුරෙන් පිච්ච මල්
වැඩිපුර දැඟලුවොත් නැති වෙයි වැලේ වැල්
රුපියල් අතර ගැහියෑකිද ? අලුක්කාල්

හිටියා මදෑ අනුන්ගෙ පිට කහ කහා
පෙන්නමු අපට ඇති හැකි බව වහ වහා
මේ ලැබු පිණට නොම පතුරා කට වහා
පලයං බං මගෙන් හොඳ පදයක් නාහා

(මතු සම්බන්ධයි----)