Pages

Monday, April 5, 2010

අසල් වැසි‍යෝ

ඉරිදා නිසා උන්නේ නින්දකට වැද
ඇසුනා අවට අලුතින් හැදු රබන් පද
විමසා බැලිමි නොතකා හිස වැටෙන පොද
දුටුදේ නිසා හිත රඟ දුනි විරිදු පද

දොරකඩ ගෙදර ඉන්නා සමරෙ‍ගෙ නෝනා
හිස් බඩ ඇවිත් ඉදලක් ගෙන වනමින්නා
සංස්කෘත සමග සිංහල අනමින්නා
අමරෙ‍ගෙනෝනාට දෙහි කපමින් උන්නා

අමරෙගෙ නෝන නෑ කට වහගෙන හිටියේ
ඇගෙ ගම් පළාතලු මාතර ඉඳිකැටියේ
බැඳලා හිටපු බල්ලා ගෙන කිටි කිටියේ
වඩිග පටුන නැටුමට සැරසෙන සැටියේ

අපටත් නොහැක නෑසුන විලසට ඉන්න
යුද්ධය නොම හැඩයි නැවතීමක් ගන්න
බැරි තැන තවත් සිංහල ඉවසා ගන්න
නෝනව යැවුව විස්තර විමසා එන්න

හේතුව විමසුවෙමි හිස්බඩ කෙල ගන්න
දෙකොනින් හිනා යන කරුණකි දැන ගන්න
නෝනා අපේ ඒ මැද්දට නොම එන්න
සිදු වෙයි එකෙකු හට යටිපස් ගමු යන්න

අමරෙගෙ ගෙදර අති කරනා පොඩි කිටියා
අල්ලපු ගෙට පැනල විලසින් හොර කොටියා
නෝනග සැප ඇ‍‍ඳේ නිදියාගෙන හිටියා
අඬ දබරෙට එකම හේතුව මෙය සැටියා

පැන්නේ පූසා හින්දා නැවතුනි ඔහොම
අප්පේ අදයි දැක්කේ ගෑනුන් මෙහෙම
උන්දෑ අපේ කිවු‍වා ගෙට ආ වහම
පැන්නේ මහත්තය නම් හෙම වෙයි කොහොම????
(නම් ගම් මනඃකල්පිතයි)

6 comments:

  1. පහදා ගන්න අසනෙමි මෙය නොඉඳ නිකා
    විසඳා දෙන තුරා ඉන්නෙමි මුකුත් නොකා
    වෙනදා එක දෙකක් කවි පද ගොතන එකා
    පබඳා ඇත හතක්! අද වැහිලාද මොකා

    කියවා නැගිණු තව පැණයක් මට ඇත්තේ
    ගොස් ඇති වගෙයි මින් පෙර නුඹ ඒ පැත්තේ
    නිසි පිළිතුරක් සුද්දෙන් දැන ගත යුත්තේ
    ඇඳ "සැප" වගක් කොහොමද ඔබ දැනගත්තේ.

    ReplyDelete
  2. උන්නැහේ----
    සිද්ධිය රස නිසා වැඩිපුර කවි ලිවුවා
    කාලය තිබේ නම් වැඩ නොම වෙයි මෙව්වා
    අර පූසා අපේ වත්තෙන් පැන දිවුවා
    ඒ යන ගමන් ඇඳ ගැන විස්තර කිවුවා

    ReplyDelete
  3. හිනාවක් පතා පද වැල් ඇමිණුවට
    හිතාගෙන ඉන්නෙ මා ගැන වැරදියට
    පඩික්කම තිබේ මගෙ ගේ තුලම මට
    ජනේලෙන් කුමට කෙළ දමනුද පිටට????

    ReplyDelete
  4. හිතණා බවක් ඔය ගැන නුඹ ඔච්චරට
    සිතුවේ නැති නිසයි කට වැරදුනේ මට
    කවදත් නුඹේ කවි පද රස වින්ද මට
    සමාවෙයන් නුඹෙ හිත රිදවූ පවට

    ReplyDelete
  5. රණ්ඩුවක් කිවු නිසා ආවේ බලන්නට
    වාදයක් ඇයිද නුඹල ගෑනුන්ගේ දේට
    මල පැන තියෙන්නේ සමරෙගෙ නෝනාට
    කිටියෙක් වෙලා ඌ මිනිහෙක් නොවුනාට

    ReplyDelete
  6. අයියෝ උන්නැහේ එය සුලු දෙයක් තමා
    කවි පද නිසා නැත හිත රිදවෙන්න නමා
    පද වැල් ලියැවෙන්නෙ ඔබ හැම නිසා තමා
    නැත කාරණා ඉල්ලන්නට මගෙන් සමා
    (Thank you so much for all comments. So Happy)

    ReplyDelete